2017 නව වසරට සෙත් කවි

නව වසරේ ඔබගේ ලග්නය අනුව පවතින ග්‍රහ අපල දුරු වීමටත් සුව සහනය ලැබීමටත් නොවරදින ප්‍රතිඵල ගෙන එන අති ප්‍රබල සෙත් කවි 02ක් ඉදිරිපත් කරන්නෙමු. එම සෙත් කවි 02ක මෙහි පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිය.

නිවෙසේ සෙත් කවි ගායනා කිරීමේදී කළ යුතු වත් පිළිවෙත්.සෙත් කවි

ඔබ ඇතුළු පවුලේ සැම ගව සූකර ඇතුළු සියලු මාංස කෑමෙන් හා මත්පැන්, දුම්වැටි පානයෙන් මිදී තමන් ඇතුළු පවුලේ සියලුම දෙනා ධාර්මික දිවි පෙවතක් ගත කරමින් පංචශීල ප්‍රතිපදාවේ පිහිටා සිට තමා පදිංචි ස්ථානයේ දිනපතා උදේ හෝ සවස තමන් වෙන් කරගත් වේලාවක් තුළ අප මහා බුදුරජාණන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම් හා ගිලන්පස තබා ගාථා කියා අර්ථවත්ව හැඟීමෙන් යුතුව තෙරුවන් නමදින්න.

සියලු පැතුම් ඉටුවීමටත්, සෙනසුරු හා සියලු නව ග්‍රහ අපල දුරුවීමට හා සියලු අංශවලින් මෙම වසර තුළ සැපත, දියුණුව, නිරෝගී බව හා සහනය උදාවන ලෙස රචනාකොට ඇති මෙම සෙත්කවි රත්නය මඟින් උදා වන්නා වූ 2016 නව වසරට ග්‍රහ අපල දුරු කර ඔබ සැමට හා නිවෙසට සාමය සතුට නිරෝගී බව හා රැකී රක්‍ෂා දියුණුව මෙන්ම ජීවිත සිරි සෙත ගෙන දේවා යැයි සිතමින් ගායනා කරන්න.

2017 නව වසරේ ජනවාරි මස පළමු වැනි සිකුරාදා දින සිට දින 7ක කාලයක් තම නිවෙසේදී තමන් ඇතුළු තම පවුලේ සැම විසින් උදේ හෝ සවස නිවෙසේ තෙරුවන් නමැදීමෙන් පසු 6.00ත් 8.24ත් අතර කාලයේ විෂ්ණු දෙවියන් උදෙසා පහත සඳහන් අති ප්‍රබල සෙත් කවි රත්නයන් 02ක දින 07ක් වරක් බැගින් ගායනා කිරීම තුළින් මෙම නව වසරේ ලග්න අනුව තම තමන්ට වන අපල කරදර හා බාධාවලින් නිදහස්ව සුබදායක යහපත් ජීවිතයක් ගත කළ හැකිය. බුද්ධ වන්දනාව කරන ස්ථානයට පහළින් තැබූ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේගේ රූපයක් ඉදිරිපිට එළඟි තෙල් මිශ්‍ර පහනක් දල්වා හා සුවඳ දුම් සමඟින් නිල් මල් වට්ටියක් පූජා කර මෙම සෙත්කවි රත්නය ගායනා කරන්න.

පතන බුදු බව දරන දසබල සසුන
සුරකින ලොවට ගුරුවන
වඳින බැතියෙන විෂ්ණු දෙවියනි
අසුර බලබිඳ විකුම පතුරන
ලබන නවසර අපල නැතිකොට
පවුලෙ සැම හට මෙමට පවතින
තිළිණ කළමැන සතුට සහනය
නිදුක සුවසෙත සැපතම සමඟින
පබල විකුමැති ලොවට සෙතදෙන
පතන බුදුබව පිනැති බලයෙන
විපුල යහපත දෙවිඳ සිරිපිය දෙවනු මැන
රට දැයට සැම දින
අපල නැතිකොට පවුලෙ සැම හට
මෙමට යහපත සතුටම දෙවමින
සපල කළමැන ලබන නව වසර
දිවිමඟට යස ඉසුරු සදමින
ආගමික ස්ථානයකදී

(ශ්‍රී විෂ්ණු දේවාලයක්) සිදු කරන ආකාරය

නිවෙසින් බැහැරව ආගමික ස්ථානයක මෙම සෙත් කවිය ගායනා කිරීමේදී පළමුව බුදුරජාණන් වහන්සේට බෝධි පූජාව තැබිය යුතුය. පූජාව තැබීමේදී පහත සඳහන් කරුණු අනුගමනය කරන්න. ඉන් අනතුරුව මුල් දිනයේ හා අවසන් දිනයේ වස විස නොයෙදු පිරිසුදු දේශීය පලතුරු වර්ග 07ක් හා ඔෟෂධ වර්ග තුනක් සමඟින් කැපූ සුවඳවත් පලතුරුවලින් සමන්විත පූජාවක් විෂ්ණු දෙවියන්ට තබන්න. ඉන් අනතුරුව ඉහත සෙත් කවි 02ක ගායනා කරන්න.
තමන්ට පහසුවෙන් යෑමට හැකි බෝධීන් වහන්සේ නමක් තෝරා ගෙන (වට නොකරන ලද බෝධියක් නම් වඩාත් සුදුසු වෙයි.) එම ස්ථානය හොඳින් අතුගා පිරිසුදු කර මල් ආසන හා අදාළ ස්ථානද පිරිසුදු කිරීමෙන් අනතුරුව සුවඳ දූපයක් දල්වා තෙරුවන්ටද තම ඉෂ්ට හා ආත්ම පාලක දේවතාවුන් ඇතුළු සියලු දෙවියන්ටද පහන් 07ක් පත්තු කොට නිල්, කහ, රතු, සුදු මිශ්‍ර මල්, මල්මාලා, නිල් හා රතු කොඩි පුදකර අදාළ ගාථා කියා බෝධි පූජාව තබන්න. සුවඳ පැන්වලින් වැසි රහිත දිනවල බෝධිය නාවන්න. ඉන් අනතුරුව තමා විසින් මේ කර ගත්තා වූ මෙම සියලු පින් තමාගේ හා තම පවුලේ සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ හා ආත්ම පාලක දේවතාවුන් වහන්සේ ඇතුළු ශ්‍රී විෂ්ණු දෙවියන්ටත් පහත සඳහන් ආකාරයට අනුමෝදන් කරන්න.
එදිනෙදා තමන් කළ යම් පින් කමක් මතක් කර පහත සඳහන් පාඨය කියා අදාළ දෙවි දේවතාවුන් වහන්සේට පින් අනුමෝදන් කරන්න.

මා හා අප පවුලේ සියලු දෙනා විසින් කරගත්තා වූ මෙම සියලුම කුසල සම්භාරය මාගේ හා මගේ පවුලේ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ආත්ම පාලක දේවතාවුන් වහන්සේලාටත් ශ්‍රී විෂ්ණු, කතරගම ඇතුළු සියලු දෙවියන්ටත් අත්වේවා. ඒ ආනුභාවයෙන් ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තුන්තරා බෝධියකින් උතුම් වූ බෝධියක් ලැබේවා. ඒ ආනිශංසයෙන් මාගේ හා අප පවුලේ සියලු දෙනාගේ පූර්ව ආත්ම භාවයේ කරන ලද අකුසල කර්ම අහෝසි කර්ම බවට පත්කර සෙනසුරු, අඟහරු හා සියලු නවග්‍රහ අපල හා ඒරාෂ්ටක දෝෂ භංග කර මාගේ හා අප පවුලේ බලාපොරොත්තු මෙම වසර පුරාවට ඉෂ්ට කර නිරෝගී බව දියුණුව හා සහනය මෙන්ම අපල දුරුකර ශක්තිය ලබා දුන මැනවි යනුවෙන් සත්‍ය ක්‍රියා කරන්න.

මෙම සෙත්කවි 02 ඉදිරි කාලයේත් පුර පක්‍ෂයේ ශනිදා දිනවල ඉහත සඳහන් වේලාවට ගායනා කිරීම සුබදායක වනු ඇත. එසේම පහත සඳහන් ගාථා කියා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේටත් කතරගම ස්කන්ද කුමර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න.
ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන්
වහන්සේට පින් දෙන ගාථාව
සම්බුද්ධ ශාසනවරං යතිපුංග වංච
සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්සී
පුඤ්ඤාණිමානි අනුමෝධීය වාසු දේවෝ
පාලේතු මං සතත සහත හිතා වහන්තු
කතරගම ස්කන්ද කුමර
දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට
පින් අනුමෝදන් කරන ගාථාව
කාචරේ දේව ගොවින්දං
රක්ඛන්තු ලෝක සාසනං
ඒතෙ දේවානූ භාවේන
කන්ද ස්වාමි නමො වරං

මෙම ගාථා තෙවරක් කියා කතරගම දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඔබේ ග්‍රහ අපල බෙහෙවින්ම සමනය වනු ඇත.