අපලයට පිළියම්

රාහු, කේතු මාරුවේ ලග්න පලාපල අනුව රාහු සහ කේතුගෙන් තමන්ට එල්ලවන අපල සෑහෙන දුරකට සමනය කරගත හැකි සරල වත් පිළිවෙත් කිහිපයකි මේ.

රාහුගේ අපලයට
නාගරුවක් සහිත බුදු පිළිමයක් අබියස දින 18ක් බෝධි පූජා පැවැත්වීම. සෙනසුරාදා දිනවල විශේෂයි. බුදු පියාණන්ට චෛත්‍ය රාජයාණන්ට හා බෝධීන් වහන්සේට නිල්මල් පූජා කරන්න. සෙනසුරාදා හා පුර පොහෝ දිනවලදී තම වයසේ ප්‍රමාණයට එළඟිතෙල් පහන් දල්වන්න. අමාවක පෝය දිනවලදී තම වයස් ප්‍රමාණයට අබ තෙල් පහන් දල්වා රාහුගේ අපලය දුරුකර දෙන ලෙස අයැදින්න. නිල් පැහැති කොඩි තුනක ‘අපලය ඇති අයගේ නම’ රාහුගේ අපලය දුරුවේවා! යනුවෙන් ලියා බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ බලගතු බෝධියක දකුණු පස අත්තක එල්ලන්න. එම කොඩි ත්‍රිකෝණාකාර හැඩයේ ඒවා නම් ප්‍රතිඵල ඉක්මන් වේ.

විෂ්ණු දෙවියන්ට හෝ ගම්භාර දෙවියන්ට අංග සම්පූර්ණ පූජා වට්ටියක් දී බාරවීමෙන් අපල තත්ත්වය බොහෝ දුරට සමනය වනු ඇත. එමෙන්ම කෝවිලකට ගොස් හනුමාන් දෙවියන්ට බාර වීමෙන්ද රාහුගේ අපලය දුරුකර ගත හැකිය.
වැටකෙයා මලක් බුදු හිමියන්ට, චෛත්‍යයට හා බෝධීන් වහන්සේට පූජා කිරීමෙන් රාහු අපලයට සහනයක් උදාකරගත හැකිය. සූර්ය පිරිත උදේ කාලයේද, චන්ද්‍ර පිරිත රාත්‍රි කාලයේද සජ්ජායනා කිරීමෙන් රාහුගේ අපලයට යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකිය. කඳ පිරිත ස්ජ්ජායනය කිරීම හා ශ්‍රවණය කිරීමටද ගුණදායකය.

වැටකෙයා පැළයක් තම ගෙවත්තේ නිරිත දෙසින් සිටුවා, එයට උදේ සවස සත්කාර කිරීමෙන් හා එය ස්පර්ශ කිරීමෙන් අපලය බොහෝ දුරට සමනය වේ. නයි පෙණයක් සහිත සුදු යකඩ හෝ රන් මුදුවක් තනවා එහි මැදට ගම්මිරිස් ඇටයක තරමේ ‘හොඳ උෟරුවේ ගෝමේද’ මැණිකක් ඔබ්බවා රාහුගේ කවචයෙන් 550 වාරයක් ජීවම් කර සුබ මොහොතින් දකුණු අතේ මැදැඟිල්ලේ පලඳින්න. තරමක ගුණයක් අපේක්ෂා කළ හැකිය.

රාහුගෙන් පැමිණෙන අපල උපද්‍රවවලදී අප රටේ දිගුකලක් මුළුල්ලේ භාවිත කරනු ලබන ආරක්ෂක යන්ත්‍රය වනුයේ නාගර්ජුන ඍෂිවරයා විසින් ලොවට ප්‍රදානය කරන ලද නාගර්ජුන නමැති බලගතු ආරක්ෂක යන්ත්‍රයයි.

මෙම යන්ත්‍රය මඟින් රාහුගේ අපලය හිරු දුටු පිනි බිඳුවක් සේ විනාශ කරන බව අත්දැකීම් ඇසුරෙන් පැවැසිය හැකිය. මෙම යන්ත්‍රයේ ජපවාර ගණන 18,000කි. මෙම නාගර්ජුන යන්ත්‍රය පැලඳීමෙන් රාහු නිසා ඇති වන මහ සොහොන් යක්ෂාදී දෝෂද විශේෂයෙන් අසුර හා අසුරකාලී යන යක්ෂ යක්ෂණියන්ගෙන් ඇති වන දෝෂයන්ද පහව යනු ඇත. මෙය අත්දුටුවයි. සත්තයි.

ඉරිවේරිය, කලාඳුරු, බෙලි පත්‍ර, රත් සඳුන්, ලොත් සුඹුලු, කස්තුරි, ගජමද හා ඊතණ යන ඔෟෂධ තැම්බූ ජලය ස්නානය කිරීමෙන් රාහුගේ අපලය සමනය වේ. (විශේෂයෙන් සෙනසුරාදා දිනවල ස්නානය කිරීම යහපත් වේ.)
රාහු ග්‍රහයා සතුටට පත් වන බලගතු ස්තෝත්‍රය පහතින් දැක්වේ. මෙම ස්තෝත්‍රය දින පතා උදේ සවස ගායනා කිරීමෙන් අපලය සෑහෙන දුරට මර්දනය කරගත හැකිවෙයි.

කේතුගේ අපලයට
දින 21ක් වයඹ දිශාව බලා බෝධි පූජා පවත්වන්න. දිනපතා බුදුන් වැඳ, වයඹ දිශාව බලා තල තෙල් පහනක් දල්වා නෙලුම්මල්, නිල් හා රතුමල් වර්ගද මල් මාලාවක්ද පූජා කරන්න. රතු හා තද නිල් පැහැති කොඩි පූජා කරන්න.

පස් තෙල් පහන් 7ක් දල්වන්න. උදේ කාලයේ බුදුන් වහන්සේට කිරි ආහාර පූජාවක් සිදු කිරීම ඉතාම යහපත්ය. ඒ සඳහා උඳු, තල මිශ්‍ර කර කිරි පිඬු සකසා කෙසෙල් ගෙඩි සමඟ පූජා කරන්න. අගිල් මිශ්‍ර සුවඳ දුම් ඇල්ලීමෙන් විශේෂ ගුණ ගෙන දේ.

ඒරාෂ්ටක මාරක අපල යෙදී ඇති විටෙකදී විෂ්ණු, කතරගම හා පත්තිනි දේව මෑණියන්ට සෙත්කවි කියැවීමෙන් කේතු අපලය බොහේ දුරට සමනය වේ. විෂ්ණු හෝ කතරගම දෙවිවරුන්ට අංග සම්පූර්ණ පූජාවට්ටියක් දී බාරවීම ඉතා යහපත්ය. මළ පෙරේත ගොටුවක් සූනියම් යක්ෂයාට දීමෙන්ද කේතු අපල දුරුවේ.

කෙසෙල් පැළයක් සිටුවා එයට සාත්තු කිරීමද කේතු අපල දුරු කරගත හැකි අත්දුටු පිළියමකි. වෛරෝඩි මැණිකක් බැඳි මුදුවක් අත පැලඳීමද යහපත්ය. දිනපතා බුදුන් වැඳ, වයඹ දෙස බලා පහනක් දල්වා පහත සඳහන් ස්තෝත්‍රය තුන්වරක්, හත්වරක් හෝ විසි එක්වරක් ගායනා කිරීමෙන් කේතු අපලය සමනය වේ යැයි කියා තිබේ.

කේතු ස්තෝත්‍රය
පලාශ පුෂ්ප සංකාශං
තාරකා ග්‍රහ මස්තකම්
රෞදං රෞද්‍රාත්මකං ඝොරං
තං කේතුං ප්‍රණමාම්‍යහම්